ආසියානු ඵලදායිතා සංවිධානය 1961 මැයි 11 වන දින කලාපීය අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පිහිටුවන ලදී. එය දේශපාලනික නොවන, ලාභ නොලබන සහ සියලු සාමාජික රටවල් සඳහා සමානාත්මතාවයෙන් කටයුතු කරන සංවිධානයකි. එය ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා ඵලදායිතාව ඉහළ නැංවීමට බෙහෙවින් දායක වන සංවිධානයකි.

ආසියානු ඵලදායිතා සංවිධානය එම සංවිධානයේ සාමාජික රටවල් 20 අතර දැනුම, තොරතුරු සහ අත්දැකීම් හුවමාරු කර ගනිමින් අන්‍යෝන්‍ය සහයෝගීතාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියා කරන අතර, මෙම සංවිධානය කර්මාන්ත, කෘෂිකාර්මික, සේවා සහ රාජ්‍ය යන අංශ මූලික කර ගනිමින් වැඩසටහන් පවත්වා දැනුම ව්‍යාප්ත කිරීම සිදු කරනු ලබයි. විශේෂඥ කථිකාචාර්යවරුන්ගේ එකතුවක් ඔවුන් සතුව පවතින අතර, සාමාජික රටවල් වෙත ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දීම ආසියානු ඵලදායිතා සංවිධානය වෙතින් සිදු කරනු ලබයි. එසේම වැඩසටහන් සඳහා සහභාගිවන්නන් නිරීක්‍ෂණ චාරිකා, ක්ෂේත්‍ර චාරිකා සඳහා යොමු කරවමින් සහ විශිෂ්ට අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කරමින් ඒවා සඳහා වියදම් දරමින් තම සාමාජික රටවල් අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක නිරතව සිටී.