Community sector

ප්‍රජා ඵලදායිතා වැඩසටහන - තුම්පනේ

“ සැම සපිරි නව රටක් ”                                               

ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන නියාමන වැඩසටහන

වැවයි - දාගැබයි ගමයි - පන්සලයි සංකල්පය තුළින් ගොඩනැඟුණු උදාර සංස්කෘතියක් අතීතයේ අප සතු විය. මෙම ඵලදායී සංකල්පය තුළින් ඉහළ ස්වංපෝෂිත ග්‍රාමීය ප්‍රජාවක් රටට උරුමකරන ලදී. නමුදු කාලයාගේ ඇවෑමෙන් මෙකී ශ්‍රීවිභූතිය උඩු යටිකුරු වී යැපුම් ආර්ථික , ජීවන රටාවකට උරුමකම් කියනු ලබන යැපුම් මානසිකත්වයෙන් යුත් ප්‍රජාවකට අප හිමිකාරීත්වය දරණ ලදී.


එනමුදු එවන් අතීත ශ්‍රීවිභූතිය සතුටින් ස්මරණය කරමින් වර්තමානයේ තැවෙමින් ලසෝ ගී ගැයූ කාලය දැන් හමාර කරන්නට කාලය එළඹ ඇත. ඒ සඳහා මනා තෝතැන්නක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයා දී ඇත.  “ සැම සපිරි නව රටක් ” ප්‍රජා ඵලදායිතා නියාමන වැඩසටහන එවන් කාලීන අවශ්‍යතාවේ මහාර්ඝ වූ මාර්ගෝපදේශයකි.

මෙම මාර්ගෝපදේශනය තුළින් යැපුම් මානසිකත්වයෙන් බැහැරව ජාතික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරන ප්‍රාදේශිය වශයෙන් විසීරී පවත්නා සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාවිත කිරීමේ දැනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් පිරිපුන් ග්‍රාමීය ප්‍රජාවක් බල ගැන්වීම සිදු වේ. මෙකී ක්‍රියාවලිය දියත් කිරීමේදී ගෘහස්ත ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ වේ. එතුළින් කුටුම්භයන්හි වෙසෙන සාමාජිකයන්ගේ ස්වයං විනය, සංයමය, ගුණගරුක බව සහ සාමූහිකත්වය ඔප්නැංවීම සඳහා මහඟු පිටුවහලක් ලැබෙනු ඇත. ගෘහස්ත ආර්ථික ඒකකයන්හි ඵලදායීතාව ඉහළ තලයකට නැංවීම හරහා සමස්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ වර්ධන වේගය කෙරෙහි ධනාත්මක සෘජු බලපෑමක් ඇති කළ හැකිය.

මෙකී ඵලදායී සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා දායකවීමට මහඟු අවස්ථාවක් මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අපට උදා විය. එදා ක්‍රිස්තු වර්ෂ 2015ක් වූ ඉල් මස 17 වන කුජ දිනය. ඉතා මනස්කාන්ත ග්‍රාමීය පාරිසරික පසුබිමක පිහිටි පොත්තිල සේවා පියසෙහි ග්‍රාමීය ප්‍රජාවගෙන් පිරී ඉතිරී ගියේ මෙකී නැවුම් බලාපොරොත්තු ජීවිතයට රොඳ බැඳ ගනිමිනි.  සුබ මුහුර්තියෙන් උඩුව, පොත්තිල, කිණිගම නැගෙනහිර යන ගම්මානවල ප්‍රජාව  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන හා අත්වැල් බැඳ ගන්නට යුහුසුළු විය.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න මහතාගේ සෘජු අධීක්ෂණය හා මැදිහත් වීම මත තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් වන තුසිතා එන්.ඩබ්.රණසිංහ මහත්මියගේත් සහකාර ප්‍රාදේශිය ලේකම් වන කේ.එම්.එච්.ඩබ්.බණ්ඩාර මහතාගේත් නිරන්තර උපදෙස් හා සැලසුම් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. එමෙන් ම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් මෙම වැඩසටහන හා  සම්බන්ධ වේ.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න මහතාගේ අරමුණු පැහැදිලි කිරීමේ දේශනයෙන් අනුතුරුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරීයෙකු වන ගීත් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන පිළිබඳ අවශ්‍ය දැනුම බෙදා දෙමින් හරබර දේශනයක් පවත්වමින් අප වෙත  සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන දිනය පුරාවට පැවැත් වූ අතර ප්‍රජාවගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි.  

“ සැම සපිරි නව රටක් ” යන තේමාව යථාර්තයක් බවට පත් කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ වීමක් ඉදිරි සැලසුම් ගත වී ඇත. එමඟින් ග්‍රාමීය ප්‍රජාවට අත්පත් වන ප්‍රතිලාභ මැනිය නොහැකි තරම් වේ. ග්‍රාමීය ප්‍රජාව හා සෘජුවම ඒකාබද්ධ වන සියලු රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කොට ශක්තිමත් සම්බන්ධීකරණයක් සහිත යාන්ත්‍රණයක් ගොඩනැංවීම සිදු වේ. එතුළින් ඵලදායී ගෘහ ඒකකයන් ගොඩනංවමින් , ඵලදායී ගමක් ගොනැංවීම සඳහා උරදිය හැකි ඵලදායිතා ප්‍රවර්ධන බලකායක් ස්ථාපිත කිරීම සිදු වනු ඇත. මූලිකව ම ගෘහ ඒකකයන් එක් ගම්මානයකින් 10ක් තෝරා ගැනෙන අතර එම නිවස්න ගුණාත්මක ඵලදායිතාවය ළඟා කර ගැනීමෙන් පසු පිරමීඩාකාරව තම ගම්මානයේ තවත් ගෘහ ඒකකයන් ඵලදායී කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමක් සිදු කරනු ඇත. මූලිකව තෝරා ගත් මෙම ගම්මාන ඵලදායිතාව ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන වශයෙන් නම් දරණු ඇත. මෙලෙස පළමු අදියරය දියත් කිරීම සාර්ථකව සිදු කිරීමට අපට හැකියාව ලැබී ඇත.

තෙවසරක් පුරාවටම දිවෙන මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කර සෞභාග්‍යමත් වූ ආධ්‍යාත්මික පරිසරයක් තුළ ඉහළ ජීවන තත්ත්වයකට හිමිකාරීත්වය දරන ග්‍රාමීය ප්‍රජාවක් තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් අනතුරුව රටටත් දායදා කිරීමට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා අප සැම අත්වැල් බැඳ  සූදානම්ව ඇත.

fb2

    

Last modified onThursday, 26 November 2015 11:05