KM

km logo

හැදින්වීම

රටක් සංවර්ධනය කිරීම යනු එරට ජනතාවගේ සමාජමය හා ආර්ථික සාධක වර්ධනය කරමින් ඔවුන්ගේ ජිවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීමයි. මෙය ඉලක්ක කර ගනිමින් විවිධ සමාජ හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ශ්‍රී ලංකාව තුළ දිගු කලක් තිස්සේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරමින් පවතී. අප රටේ ජනගහනයෙන් විශාල කොටසක් ග්‍රාමීය ප්‍රජාව නියෝජනය කරන බැවින් ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදීද මෙම ග්‍රාමීය ජන ප්‍රජාව ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙයි. එසේම ග්‍රාමීය මට්ටමින්ක්ෂුද්‍ර හා සුළු පරිමාණ වශයෙන් සිදු කරන නිෂ්පාදනයන් ජාතික ආර්ථික ක්‍රියාවලි ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් සිදු කරයි.

ශ්‍රී ලංකාව පුරා ප්‍රාදේශීය මට්ටමින් ජනතාවගේ ආර්ථික ජිවනෝපාය මාර්ගයන් සැලකීමේදී ඉතා පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් සඳහන් කළ හැකිය. කෘෂි කර්මාන්තය, කෘෂි කාර්මික නිෂ්පාදන (ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන), ධිවර, පශු සම්පත්, ගෘහ කර්මාන්ත , අත්කම් නිෂ්පාදන, පතල් කර්මාන්තය තුළ නියැලෙමින් ග්‍රාමීය ප්‍රජාව සිය ආර්ථික ක්‍රියාවලියසපුරා ගැනීම සඳහා නිරත වී සිටීයි. මෙහිදී බොහෝ විට සිය පාරම්පරික දැනුම හා කාලාන්තරයක් තුළ තමා විසින්ම ක්‍රියාවට යෙදවීමෙන් අත්දැකීම් ඔස්සේ ලබා ගත් දැනුම සිය කර්මාන්ත කෙරෙහි යොදවා ගැනීමට යොමු වීමක් ඔවුන් තුළදක්නට ලැබේ.

ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලියට ශක්තියක් වෙමින් ආර්ථිකය නංවාලීම සඳහා රජය විසින් වරින් වර විවිධ වැඩසටහන් ජාතික හා ප්‍රාදේශීය මටමින් හදුන්වා දීම සිදු කරයි. නිදසුනක් වශයෙන් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා සිදු කරන සහනධාර වැඩසටහන්, ණය ලබා දීම, යටිතල පහසුකම් සංවර්ධනය, තාක්ෂණික පර්යේෂණ වැඩසටහන් ආදිය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. නමුත් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජ මට්ටම අපේක්ෂිත ප්‍රශස්ත මට්ටමක් කර ලඟා කරමින් ඔවුන්ගේ ජිවන ගැටළු සඳහා ස්ථිරසාර විසදුම් ලබා දීමට අපරට තවමත් අපොහොසත් වී ඈත.

නවින ලෝකයේ සිදු වන වෙනස්කම් වලට අනුගත වන පරිදි ඔවුන් සතු දැනුම යාවත් කාලීන නොවීම මෙයට ප්‍රධාන හේතුවකි. පර්යේෂණ ඔස්සේ සොයා ගන්නා දැනුම ග්‍රාමීය ප්‍රජාව වෙත ලඟා වීමේ නිසි ක්‍රමවේදයක් අප රටේ ස්ථාපිතව නොතිබීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගත හැකිය. ආර්ථික මෙන්ම සමාජ සංවර්ධන වැඩසටහන් වලදීද මෙම දැනුම නිසි පරිදි ග්‍රාමීය ප්‍රජාව වෙත ගලා නොයාමේ අභියෝගයට අප රට මුහුණ පා සිටීයි.

ක්ෂුද්‍ර හා සුළු පරිමාණ සේවා හා නිෂ්පාදන සිදු කරන ග්‍රාමීය ප්‍රජාව තුළ අඩු වියදම් නිෂ්පාදන ක්‍රම, තාක්ෂණ භාවිතය, ගුණත්වය ඉහළ නැංවීමේ ක්‍රමවේද, පාරිභෝගික අවශ්‍යතාවයන්, වෙළදපොළ ඉල්ලුම පිළිබඳව පවත්නා දැනුවත්භාවය හා අවධානය මඳ බව අපේක්ෂිත ආර්ථික ඉලක්ක ලඟා නොවීමට ප්‍රධාන සාධකයක් වේ. එනම් ඉහළ ආර්ථික තත්ත්වයක් ලඟා කර ගැනීම සඳහා ග්‍රාමීය ප්‍රජාව තුළ තිබිය යුතු දැනුම හා දැනට පවතින දැනුම අතර තිබෙන්න වූ පරතරය මෙයට ප්‍රධාන හේතුවකි.

නමුත් ධනාත්මක ආකල්ප සංවර්ධනය, ගුණත්වය හා තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඵලදායි සංකල්ප පිලිබඳ අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම, එම ක්ෂේත්‍රයන්ට අදාළ නවීන තාක්ෂණ දැනුම ලබා දීම මෙම දැනුම් පරතරය පිරවීමට යොදා ගත හැකි ප්‍රධාන ක්‍රියාකාරකම්ය.

ප්‍රාදේශීය වශයෙන් එකම ජිවනෝපාය ක්ෂේත්‍රයක් තුළ නියැලී සිටින කිහිපදෙනෙකුට කුඩා කණ්ඩායමක් වශයෙන් ඒකරාශී විය හැකි නම් සිය දැනුම එකිනෙකා අතර හුවමාරු කර ගැනීමටත්, පොදු ගැටළු සඳහා විසදුම් සෙවීමටත්, එතෙක් නොපෙනුණු සැගවුණු අවස්ථාවන් හදුනා ගැනීමටත් එය මහත් පිටිවහලක් වනු ඇත.

ග්‍රාමීය ප්‍රජාව තුළ පවත්නා   යම් සමාජිය පොදු ගැටලුවක් සඳහා පිළියම් යෙදිමේදීද මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. සමාජීය ගැටලුවට හේතු සාධක වන එම ප්‍රජාව තුල පවතින දැනුම් පරතරයහදුනාගෙන එය පිරවීමට ක්‍රියා මාර්ග ගැනීම මෙහිදී කල යුතු වෙයි.

පහත රූපසටහන මගින් තව දුරටත් මෙසේ හදුනා ගත හැකිය

ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් සිදුකරන මෙම කුඩා දැනුම් කළමනාකරණ ව්‍යපෘතින්වල මුලික අරමුණ නම් ප්‍රජාව තුළ පවත්නා එම දැනුම් පරතරය පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන්ගේ ආර්ථික හා සමාජීය ඉලක්ක ජය ගැනීමට අත්වැලක් සැපයීමයි.

එහිදී ඵලදායිතා සංවර්ධන නිලධාරීන් වශයෙන් ඔබ ප්‍රදේශය තුළ එවැනි කණ්ඩායමක් ඒකරාශී කර, ඔවුන්ට ඵලදායිතා සංකල්ප පිලිබඳ දැනුවත්භාවය ලබා දෙමින්, තාක්ෂණික දැනුම ලබා ගැනීමටද අවස්ථාව විවර කරමින් එම කණ්ඩායම සිය ආර්ථික හා සමාජීය ඉලක්කයන් ජය ගැනීමට මෙහෙයවමින් ඔවුන්ගේ දැනුම් පරතරය පිරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මෙම දැනුම් කළමනාකරණ ව්‍යපෘති හරහා ඔබට සිදු කළ හැකිය.